අන්ධකාරයට පාර කියන්න තරැ එළියක්වත් නොතිබුණ තරම්. ඒත් මම ඒ දැඩි අඳුර මැද්දෙ නන්නාඳුනන ඒ කැලය මැද්දෙ ඇවිදිමින් හිටියා. නොනවත්වාම ඇසෙන රුහැයියන්ගේ විලාපය මගේ කන් දෙකම හිරිවට්ටපු තරම්. ඒ හින්දා ඇවිදිද්දි මම මගේ කන්දෙක වහගත්තේ ඒ ශෝකාත්මක හඬ දරාගන්න බැරිකමට. කවුදෝ මගේ පස්සෙන් ඇවිදගෙන එනවා වගේ මට දැනෙන්න පටන් ගත්තත් මම හැරිලා බැලුවෙ නෑ. පල්ලියේ ගෙවපු නිහඬ ජීවිතය සිහිපත් වෙන හැම මොහොතකම මගේ ආත්මයම යම්කිසි වේදනාවකින් ගිනිගන්න බවක් මට දැනෙන්න පටන් ගත්තා.
ඇවිදින ගමන් මම ඉකිගහලා ඇඬුවේ ඇයි කියන්න මටවත් වෙලාවකට තේරැණේ නෑ. මට මාවත් හොයාගන්න බැරැව මම කොහේදෝ තැනක අතරමංවෙලා හිටියා. මම මොහොතක් පාසා හිතින් යැද්දේ දෙවියන් විතරයි. වෙලාවකට මගේ කකුල් කටු අකුලුවල පැටලිලා ලේ ගලන්න පටන් ගත්තා. ඒත් මොකක්දෝ ශක්තියකින් මම ඒ වේදනාවන් ඉවසගෙන හිටියා මිසක් මොහොතකටවත් නැවතුණේ නෑ.
දෙවියනේ මේ රුය එළිවෙද්දි මට මේ අඳුරැ වනාන්තරයෙන් එළියට යන්න ලැබෙනවනම්... මම ප්‍රාර්ථනා කළේ එච්චරයි. මහා බඩගින්නක් හා පිපාසයක් මට දැනෙමින් තිබුණා. පැය ගාණක් යා යුතු පාර නොදැන මම ඒ විදිහට ඇවිදගෙන යන්න ඇති... සමහර වෙලාවට මම ඒ කැලේ මැද්දෙන් ඇවිද්දෙ ඇස් දෙක වහගෙන. මට රෝස්මරී වගේම අර යක්ෂයාත් මැහැල්ලත් සිහිපත් වුණා. වනාන්තරය වසාගෙන පැවති තද කළුවර අස්සෙන් ඩිංග ඩිංග හිරැ එළිය තුරැ මුදුන් අස්සෙන් පෙරිලා එද්දී මට දැනුණා ඒ දිගු අන්ධකාර රාත්‍රියක අවසානය බව. සියලු වෙහෙසකර වේදනාවන් මැද්දෙ මොහොතකට යළි ඉපදුණා වගේ හැඟීමක් මට දැනෙන්න පටන් ගත්තා. දෙවියනේ මා අසීමිත ලෙස බියට පත් කළ රාත්‍රිය අවසානයි. මේ ආලෝකය තුළ රෝස්මරී නැවත මා සොයාගෙන එන එකක් නැහැ. යක්ෂයා මා අබියසට එන එකක් නෑ. ඔවුන් සියලු දෙනා වීරයන් වෙන්නෙ අන්ධකාරය තුළ විතරයි. ආලෝකය තුළ ඔවුන් හැංගෙනවා. මම මුහුණ උඩට හරවමින් ළා හිරැ කිරණ දෙස බැලුවේ දීප්තිමත් හිරැ නැඟ එන මොහොත ඇස් දෙකට ඒ දීප්තිය අහුලාගන්නටයි.
දෙවියනේ මේ මොන හාස්කමක්ද? රළ නඟන ගං තෙර මගේ ඇස් ඉස්සරහ.
මම පුදුම තරම් සතුටකින් සුදුම සුදු ගං තීරයේ ඉඳගත්තා. ගං තීරය රිදී පාටින් දිළිහෙමින් තිබුණා. ගං දියවර හිරැ රුස් උරාගනිමින් ළා රන් පැහැයෙන් දිලිසෙමින් තිබුණා. ගං දෑල දෙපස රතු, දම්, කහ, තැඹිලි පාට මල් පිපුණු ගස්වලින් ගඟේ වතුරට වැටිච්ච පාට එකතුවෙන් නිශ්චිත වර්ණයක් නොවන වර්ණයකින් ගං දිය දිලිසෙමින් තිබුණා.
දෙවියනේ මම දැන් නිදහස් ගැහැනියක්. ආයෙත් කිසිම දවසක ඒ පාළු සොහොන් බිම මගේ ඇහැ ගැහෙන්න එපා... හැම හැන්දෑවක්ම නිස්කලංක ප්‍රීතිමත් සුවයෙන් ගෙවා දමන්න මට ඇත්නම්... මම ගඟට බැහැලා සීතල වතුරේ එබුණේ සියලු වෙහෙස අකා මකා දමන හැඟීමෙන්.
දුල්යානා
මාව ඒ හඬින් කොතරම් තිගැස්සුණාද කියනවනම් මට අමතක වුණා මම ඉන්නෙ ගඟට බැහැලා කියලත්... මම ළඟ තිබුණ පුංචි ගලකට අඩිය තිබ්බා. ඒත් දිය සෙවෙල් බැඳී තිබුණ ගලේ තැබූ පා සැණෙකින් ලිස්සා ගියා.
දෙවියනේ... මට කියාගත හැකිවූයේ එපමණයි